Monday, July 13, 2015

හෙළ උරුමයේ තීරණය අසාධාරණද?

10:20 AM



ජාතික හෙළ උරුමය දැන් එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. ඇත්ත වශයෙන්ම ඉදරිපත්වීමට සිදුවී ඇත ලෙස එය සංශෝධනය විය යුතුය. මේ මොහොතේ ජාතික හෙළ උරුමය වෙනුවෙන් චම්පික රණවක සහ අතුරලියේ රතන හිමි දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ ඒ ගත්තා වූ තීරණය සමගය. 

   අනූව දශකයේ බිහිවුණු සිවිල් සංවිධාන අතර “සිංහල වීර විදහන“, “ජනතා මිතුරෝ“ වැනි නම් ඉතා ඉහලින් සිටි බව අප දන්නා කරුණකි. එවකට ත්‍රස්තවාදය, රාජ්‍ය ත්‍රස්තවාදය, තරුණ කැරළි තුලින් අවුල් ජාලාවක් වී තිබු ලංකාවට එම සිවිල් සංවිධාන ජාතිකත්වයේ උත්තේජනයක් ලබාදුන්හ. “සිහළ උරුමය“ ලෙස කලඑළි බසින් දේශපාලන පක්ෂය තුලට අදාල සිවිල් සංවිධාන මෙන්ම එවකට ශ්‍රී ලාංකේය දේශපාල සන්දර්භය තුල සිටි විද්වතුන්, ජාතිකවාදීන් සහ හිටපු සමාජවාදීන් රොක්වන්නේ එය නවතම දේශපාලනික මුහුණුවරක් නිසාවෙන්ය. සැබෑ ලෙසම ඔවුන් දේශපාලනයේ උඩුගංබලා පිහිනීම ආරම්භකලහ. 

   2002 රනිල් වික්‍රමසිංහ රජය යටතේ සටන් විරාම ගිවිසුම හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය මඩි තරකරගනිද්දී පිරිස් බලය, සන්නද්ධ බලය මෙන්ම ජාත්‍යන්තර සහයෝගයෙන්ද ප්‍රබල වෙද්දි සාම ගිවිසුම නැමත පිරුවටයෙන් දෑස් වසාගෙන එවකට එ.ජා.ප රජය අන්ධයන් සේ සාමය පිටුපසම දුවමින් සිටියහ. ඔමන්තෙට පැමිණ ත්‍රස්තවාදීන් හමුදා කඳවුරු වලට ගල් ගසා, සෙබළුන්ට පශ්චාත්භාගය පෙන්වා යන විට හමුදා සෙබළුන් ලේ කකියමින් ඉවසා සිටියහ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ට රාජ්‍ය ප්‍රභූ සැලකිලි ලැබෙද්දී, ඇන්ටන් බාලසිංහම්ලා උඩගුවනින් ඉරණමඩු වෙත සැපත්වෙද්දී සිහළ උරුමය ඉවසා නොසිටියහ. දීන බවින් පසුවූ ශ්‍රී ලාංකේය සංහතියට නැවත සිංහ කොඩිය මතක් කර දුන්නේ සිහළ උරුමයයි. මානිරාසකුලම් කඳවුර වෙත පාද යාත්‍රා කොට එතැන් සිට ඊනියා සාම ගිවිසුම අකර්මණ්‍ය කරන ලෙස බලකලේ සිහළ උරුමයයි. අවසානයේ රනිල් වික්‍රමසිංහ රජය කොටි ලේබලයද අලවාගෙන ගෙදර යන්නට සිදුවීමේ පිටුපස පළමු වෙඩිමුරය තැබුවේ සිහළ උරුමයයි.

    ඉන් අනතුරුව පැවදි නියෝජනයද එක්කරගෙන ජාතික හෙළ උරුමය ලෙස ඉදිරියට පැමිණෙද්දී කොතරම් බාධක කම්කටොළු එල්ලවුනිද යන්න ජන සමාජයට මතක බව නිසැකය. 2004 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් මාවිල්ආරු වසා දමා දෙමළ සිංහල ජනතාවගේ ජල අවශ්‍යතාව රුදුරු ලෙස උදුරාගනිද්දී එදා “අපි තොපේය - බිම අපේය“ මැයෙන් මාවිල් ආරු ගොසින් සන්ධාන රජයට නිවට නියාලු සාමයෙන් ගැලවී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන ලෙස බලකලේ හෙළ උරුමයයි. එදා මාවිල්ආරුවේ සිංහ කොඩිය තවමත් අපට මතකය. හෙළ උරුමය ජාතිකවාදිත්වය සමග මහින්ද රාජපක්ෂ රජය සමගින් ගිවිසුම්ගත වූයේ ප්‍රධාන වශයෙන්ම එවකට පැවති ත්‍රස්තාවදය පරාජය කල ඒකීය රටක සිහිනය වෙනුවෙන්ය. ඔවුන් ඒ ගිවිසුම තුල වෙන කිසිවක් අපේක්ෂා නොකළහ. එදා එල්ලාවල හිමියන්, ඕමල්පේ හිමියන්, චම්පික, ගම්මන්පිල, උඩුවේ හිමියන් වැනි ප්‍රබලයින් සෘජුවම රජයට ත්‍රස්තාවාදයට අවියෙන් පිළිතුරු ලබාදිය හැකි බව පසක් කරමින් රජයට කොන්දක් දෙන්නට කටයුතු කලහ. 

   හමුදා ප්‍රහාර වලින් දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් මිය ගිය දිනට පසුදින ලංකාව පුරාම ඇලවුණු පෝස්ටරේ ප්‍රභාකරන්ගේ රුවට අවියේ ඉලක්කය මානා යටින් ලියා තිබුණේ “ඔව් එය කල හැකිය“. හෙළ උරුමය රටටම ධනාත්මකව කියා සිටියේ ප්‍රබාකරන් විනාශ කල හැකි බවයි. එහෙව් හෙළ උරුමයට එදා යුද්ධයට අකුල් හෙළු එක්සත් ජාතික පක්ෂය සමග එකට තරඟ කරන්නට වීම සාධාරණද අසාධාරණද යන්න සිතා බැලිය යුතු කරුණකි. 

   පෙර සඳහන් කල පරිදිම  හෙළ උරුමය මහින්ද රාජපක්ෂ රජය සමග ගිවිසුම්ගත වන්නේ ඒකීය සංකල්පය පෙරටු කරගෙන ත්‍රස්තවාදය විනාශ කිරීම කල හැක්කේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට බව දැඩිසේ විශ්වාස කල නිසාය. එවකට මහින්ද රාජපක්ෂ රජයේ මතවාද සහ හෙළ උරුමයේ මතවාද අතරත් වෙනස්කම් තිබිණි, නමුත් ඒ වෙනස්කම් පලෙකලා මහින්ද රාජපක්ෂ රජය හෙළ උරුමය සාදරයෙන් පිළිගත්තේත්, හෙළ උරුමය රජයට එක්වුනේත් ඒ මොහොතේ එය විශාල ශක්තියක් මෙන්ම සංග්‍රාමික සාධකයක් ලෙස දැන උන් බැවින්ය. එහෙව් මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ වංචා සමග සහ හෙළ උරුමය තුල බෙදීම් නිර්මාණය කරන සාධක සමග ගමනක් යා නොහැකි බව තේරුම්ග්තතේ 2011න් පසුය. යුධමය ජයග්‍රහනයේ අයිතය හෙළ උරුමය සතුවද ඇත. 

  අද හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය,මනෝ ගනේෂන් සමග සන්ධාන ගතවෙන්නේද මතවාදීමය ප්‍රශ්න තිබුණත් යහපාලනය වෙනුවෙන් ගමන් කල හැක්කේ එජාප ය ප්‍රමුඛ රජයකට පමණක්ය යන චින්තනයේ සිටය. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය. අනික් කාරණය සෘජුවම මහින්ද රාජපක්ෂ පරාජයට මැදිහත්වූ හෙළ උරුමයට නැවත මහින්ද රාජපක්ෂ ප්‍රධාන චරිතය හොබවන සන්ධානයක් යටතේ රෙදි ඇඳගෙන තරඟ කල නොහැකිවාක් සේම ඔළුව අතගා අනින ටොකු ඉවසිය නොහැකි නිසාය. අනික් කාරණය තනිව තරඟ කලහොත් නිසැකව පාර්ලිමේන්තු අසුනද අහිමිවන මැතිවරණ ක්‍රමයක් යටතේ එසේ වුවහොත් දේශපාලන ගමන එතනින්ම අවසන් වනු ඇත, ඒ මන්ද රතන හිමියන්ට, චම්පිකලාට පළාත් සභාවේ ඉඳන් කල හැකි යමක් ඇත. එසේම ඔවුන්ගේ දායකත්වය පාර්ලිමේන්තුවක තිබිය යුතුමය. ඉතිරිවන විකල්පය ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමය. එය කිසි ලෙසකවත් හෙළ උරුමයේ ජාතිකවාදී ප්‍රතිපත්තියට සමපාත නොවන්නක් වුවත් මේ මොහොතේ කල හැකි අන්යමක් නැති බැවින් හෙළ උරුමය එම විකල්පය තෝරාගෙන ඇත.

   සාමාජ ජාලයන් තුල හෙළ උරුමයේ මතය දැරූ ක්‍රියාකාරීන් ඉතාම අසරණ මට්ටමට පත්කරවන තීරණයක් බවට එය පත්ව ඇතිවීමෙන් එය චම්පිකලාට, මෙන්ම සාමාන්‍ය හෙළ උරුම පාක්ෂිකයාට කොතරම් තදින් පහර වදින කාරණයක්ද යන්න අවබෝධවනු ඇත. බොහෝ සමාජ ජාල ක්‍රියාකාරීන් දේශපාලනය සම්බන්ධව කතා කිරීමේන පවා වැලකීමට ඊයේ සිට තීරණය කර ඇත, තවත් සමහර හෙළ උරුම පාක්ෂික සාමාජ ජාල ක්‍රියාකාරීන් කොතරම් ගල්, පොලු මැද වුවද හෙළ උරුමයේ ස්ථාවරය දරමින් සිටී, ඇතමෙක් දෝෂාරෝපණ වලට එරෙහිව රළු ආකාරයෙන් කටයුතු කරමින් සිටී. හෙළ උරුමයේ උත්තරීතර මණ්ඩලය ගත්තාවූ තීරණය තුලින් බොහෝ සෙයින් ජාතිකවාදී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පිළිවෙතක් අනුගමනය කල පාක්ෂිකයාට එල්ලවූයේ කණේ පහරකි. නමුත් ඔවුන් අසාධාරණ නැත. වෙනකක් තබා පසුගිය සති කීපයේ මහබැංකු අධිපතිගේ ක්‍රියාකලාපය, අගමැතිගේ සහ ඇමති මණ්ඩලයේ ක්‍රියාකලාපය දැඩිසේ විවේචනය කල චම්පික රණවකට පවා රනිල් වික්‍රමසිංහ සමග ගිවිසුම්ගතව කිරිබත් කන්නට වීම දෛවයේ සරදම්ය. එහෙත් එදා සන්ධානය සමග ගිවිසුම්ගතවන විට චම්පිකලාගේ මුහුණේ තිබූ සිනහව ඊයේ රනිල් සමග ගිවිසුම්ගතවන විට මුහුණේ නැත. එම තීරණය හෘද සාක්ෂියට එකඟව ගන්නා ලද්දක්ද යන පැනය අප වෙත එන්නේ එවැනි හැසිරීම්වලින්ය.

   ශ්‍රී ලාංකේය දේශපාලනයේ කටුක යථාර්ථය එයයි. බලයේ රැඳී සිටීම පිණිස කරන්නට සිදුවන දේ ඉතාම අමිහිරිය. ඒ තුලින් ජාතික හෙළ උරුමය ගත් තීරණය අසාධාරණද යන්න විමසා බැලීම අප සිදුකරන ලදි. දේශපාලනයේ දෛවයේ සරදම්වලට අප එදා මෙන්ම අදද මුහුණ දෙමින් සිටිති. ප්‍රතිපත්ති ඉක්මවා බලය මතුවන විට බොහෝ දේ අතහරින්නට සිදුවනු ඇත. එක්සත් ජාතික පක්ෂය සමග ගිවිසුම් කොතරම් කලක් තිබේද කියා අපට අනුමාන කල නොහැක, එහෙත් ගසේ ගැසූ ඇණවල පැල්ලම් ගස මැරෙන තුරු මකා දැමිය නොහැක.

@Lanka Words

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by