Friday, August 7, 2015

සන්නස්ගලගේ ශුකාණු සහ ප්‍රභාකරන්ගේ දරුවෝ

6:20 PM


සන්නස්ගල විසින් සෑහෙන්න පොත් ලියා ඇත. ඒ බොහොමයක් පොත් තරුණ පරපුර ඉලක්ක කරගත් පොත් පත්ය. මේ දිනවල සන්නස්ගලගේ පොත් ආයෙත් දිගහැරෙන්නේ හෙතෙම එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වන නිසා පමණක් නොව, සන්නස්ගලගේ පොතක කවරයේ ඇති “වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ශුකාණුවක කතාවක්“ ගෙවිඳු කුමාරතුංඟ විසින් උපුටා ගැනීම නිසාවෙන්ය. එය උපුටාගනිමින් කියා සිටියේ සන්නස්ගල බෙදුම්වාදය වපුරන්නට කටයුතු කරන්නෙක් බවත්, එය ඔහුගේ පොත්වලින්ම එළියට පැන ඇති බවත්ය.

   මේ සිදුවීමේදී ඇතමෙක් සන්නස්ගල බෙදුම්වාදියෙක් ලෙස හඳුන්වමින් ඔහුව පතුරු හරින අතර, අනෙක් පසින් ඔහු සාධාරණීයකරණය කිරීම උදෙසා තවත් පිරිසක් ගෙවිඳු කුමාරතුංඟගේ පතුරු හරිමින් සිටිති. ඇතමෙක් ගෙවිඳුගේ සීයා වන කුමාරතුංඟ මුනිදාස විද්වතාද ඒ ප්‍රශ්නවල කොණකට ගාවගෙන ඇත. මෙම සිදුවීම අඳුරේ අතපතගා පසෙක දැමිය හැකි සිදුවීමක් නොව.

   එක් පැත්තකින් මතුකල හැකි කාරණය වන්නේ සන්නස්ගල විසින් ලියන ලද “පිරිමි ගොඩයි, මම විතරයි“ නැමති පොතේ අභ්‍යන්තරයේ ඇති දෙබසක කොටසක් වන මේ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු කතාව කල්පිත නවකතාවක කොටසක් මිස දේශපාලන ප්‍රකාශනයක් නොවන නිසාවෙන් එතරම් දරුණුවට නොගෙන පසෙක දැමිය යුතුය යන්නය. ඇතැම්විට සන්නස්ගල දේශපාලනයට බැස්සේ නැතිනම් කිසිම දිනක අදාල නවකතා පොතේ ප්‍රභාකරන්ගේ ශුකාණුවද කලඑළි නොබසින්නට බොහෝ දුරට ඉඩ තිබිණි. එසේනම් ඒ ශුක්‍රාණුවෙන් ජීවයක් උපදින්නේද නැත, නමුත් අදාල ශුකාණුව ගෙවිඳු කුමාරතුංගගේ ප්‍රකාශය නැමති ඩිම්බය සමග සංසේචනයවීමත් එක්ක බිහිවන්නේ එක් පැත්තකින් බෙදුම්වාදයේ හංවඩුවක් සහ රැඩිකල් පොතක කල්පිත සිද්ධියක් යන එකිනෙකට වෙනස් නිවුන් දරුවන් දෙදෙනාය.

   වරක් එක් මාධ්‍යවේදියෙක් නැසීගිය මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්මාගෙන් අසා සිටියේ “මළවුන්ගේ අවුරුදුදා“ කෘතියේ එන දෙවොන්දරා සංගේ සහ නොරිකෝ ගේ පුවත රචකයා මුහුණදුන් සත්‍ය සිදුවීමක් ද යන්නයි. ඒ මන්දයත් එකල එම කෘතිය ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටීම සහ අදාල කතා පුවත සරත්චන්ද්‍ර ජපානයේදී මුහුණදුන් සත්‍ය සිදුවීමක් බවට පැතිරුණ කටකතාව නිසාවෙන්ය. එයට උල්පන්දන් දුන් සරත්චන්ද්‍ර මහතා ජපන් යුවතියක් සමග කුළුපගව සිටින ඡායාරූපයක්ද එකල ප්‍රසිද්ධියට පත්වීම එක පසකින් අදාල ප්‍රශ්නය ඇසීමට සාධාරණ හේතුවක් විය. නමුත් එයට සිනාමුසු මුහුණින් පිළිතුරු ලබාදුන් සරත්චන්ද්‍ර මහතා කියා සිටියේ “සාහිත්‍ය වනාහි සත්‍ය සහ කල්පිතය අතර අවකාශයේ ඇති සංසිද්ධියක්“ බවයි. 

   එහෙත් සරත්චන්ද්‍ර එලෙස පැවසුවත් අද පවා පිළිගත හැකි කාරණය වන්නේ සරත්චන්ද්‍රගේ සාහිත්‍යය ඔහුගේ පුද්ගලික ජීවිතය හා දැඩිලෙස බැඳී තිබුණ බවයි. ඉතා සංවේදී පුද්ගලයෙක් වූ හෙතෙම සිය යෞවන ප්‍රේමයේ විප්පයෝගය නිසාවෙන් පසුකලෙක “මනමේ“ නිර්මාණය කර අදාල සිදුවීම සිතේ සාධාරණීකරණය කරගත් බවත්, සිය දියණියගේ විවාහය හේතුවෙන් සිතේ ඇතිවන වෙන්ව යාමේ වේදනාව සමනයට “සිංහබාහු“ තුලින් සිංහ සීවලී වෙත සිංහයාගේ බැඳීම මනාලෙස පෙන්වූ බවත්ය. එය සමකාලීනයන් පවා විග්‍රහකල කාරණයකි. ඒ නිසාවෙන් මළවුන්ගේ අවුරුදුදා හි එන නොරිකෝද ජපානයේදී හමුවූ ප්‍රේමයක් බවට තාර්කිකව සත්‍යාපනය කලහැක. ඒ තර්කයෙන් බිඳවැටෙන්නේද සරත්චන්ද්‍ර කියූ සාහිත්‍යය කල්පිතයක් යන ප්‍රකාශනයමය. එහෙත් ඔහු කියා ඇත්තේ සත්‍ය හා කල්පියත අතර අවකාශයක පවතින යමක් ලෙස සාහිත්‍ය හැඳින්වීම නිසා එය සත්‍යය පැත්තට බරවිය හැකිබවත් සියයට පනහේ පනහේ ශක්‍යතාවක් ඇති බවයි.

   අනෙක් අතට මතුවන කාරණය වන්නේ 2009 දි මුලතිව් නන්දිකඩාල් කලපුවේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් නැමති ත්‍රස්ත නායකයා ඝාතනයට ලක්වන තුරාවට සන්නස්ගලගේ සාහිත්‍යයේ ප්‍රභාකරන් සිටියේද යන්නයි. ලේ කිරිකැටියන් පවා පෙතිගසා දැමීමට අණදුන්, ලෝක උරුමයන්ට පවා බෝම්බ හෙලූ, තමන්ගේ වර්ගයේ මිනිසුන් මරා දැමූ ප්‍රභාකරන්ගේ ශුකාණු ගැන 2009 මැයි මසට පෙර ලියවුණු සන්නස්ගලගේ කිසිඳු ප්‍රකාශනයක සඳහන් වන්නේ නැත. එසේනම් 2009 ට පෙර සන්නස්ගල තමන්ගේ අමු සිංහල පොතක පිටුපස කවරයේ ප්‍රභාකරන්ගේ ශුකාණු ගැන කතා කරානම් එකල සමාජයේ පැවති තත්වය අනුව සන්නස්ගලගේ ශුකාණු කෙසේ වෙතත් සුළු දිය පහවන තුරු අසන්නට කාරණා තිබිණි. ප්‍රභාකරන් මරාදැමූ පසු සන්නස්ගලගේ පොත්වල ප්‍රභාකරන්ගේ ශුකාණු ගැන ලියවීමත්, වැල්වැටිතුරේ ප්‍රභාකරන් උපන් ගෙයි බිත්තිවල දෙමළ ජනතාව වීර කවි ලිවීමත් අතර සංසිද්ධිමය සමානත්වයක් පෙනීම අත්‍ය සුචරිතවාදී හිංඟලයන්ට නොපෙනුනද, සාමාන්‍ය එදිනෙදා පත්තරය කියවන සිංහලයෙකුට වුව එය පෙනීයනු ඇත.

   ඇරත් රටතුල තහනම් සංවිධානයක, ඝාතනය කරන ලද ත්‍රස්ත නායකයෙක්වන ප්‍රභාකරන්ගේ ශුකාණුවක් තමන්ගේ කතා පොතක ප්‍රධාන උපුටනයක් බවට පත් කරන්නට සන්නස්ගලට තිබූ වුවමනාව කුමක්ද? එයට සාධාරණ නිර්වචනයක් දිය හැකිද යන්න ගැටළුවකි. බෙදුම්වාදය පසෙක තබා, ජාතීන් කුලප්පු කිරීම පසෙක තබා සලකා බැලිය යුතු කාරණයක් ලෙස එය හැඳින්විය යුතුය. වෙනත් කිසිඳු ශ්‍රී ලාංකික රචකයෙක්ට නොතිබූ ප්‍රභාකරන්ගේ ශුකාණු උණක් සන්නස්ගලට වැළඳෙන්නේ ඇයි? ගැටළුව ඇත්තේ එතනය.

   සන්නස්ගලගේ පුද්ගලික චරිතය, ප්‍රශ්න පත්‍ර හොරකම, ඔහුගේ ඊනියා ප්‍රකාශන අපට වැඩක් නැත. එහෙත් සිහිකල යුතු කාරණයක් තිබේ. ඇතැම් ඈත ගම්වල පමණක් නොව නගරවල පවා වැඩිමහළු දෙමව්පියන් අද පවා ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වන්නේ “චේ ගුවේරා කාරයින්“ ලෙසයි, රෝහණ විජේවීරගේ නමට පවා ඔවුන් බියවෙති. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දෙන්නට පවා ඔවුන් කිසිකලෙක නොසිතති. එයට හේතුව ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය, එනම් මීට දශක තුනකට සහ හතරකට පෙර චේ ගුවේරා කාරයින්ගෙන් සහ විජේවීරගෙන් ඒ මිනිසුන් දැඩිලෙස පීඩා වින්ඳහ. අද පරපුරට විජේවීර වීරයෙක් වුවත්, එදා රටේ බහුතරයකට විජේවීර ත්‍රස්තවාදියෙක් විය. අද පරපුරට විජේවීර විප්ලවවාදියෙක් වුවත්, එදා පරපුර විජේවීර නිසා විඳි ගැහැට අදටත් සිහිකරනවාටද අකමැතිය. 

   සන්නස්ගලලා ප්‍රභාකරන්ගේ ශුකාණු ගෙනයන්නේ එල්.ටී.ටී.යේ ගැහැට මතක අද පරපුරට නොව හෙට පරපුරටය. නිසැක වශයෙන්ම තව දශක කීපයක් ඇතුලත මෙරට ප්‍රභාකරන් විප්ලවවාදියෙක් ලෙස සැමරීම, මහින්ද රාජපක්ෂ ඇතුළු එවකට යුධ වීරයින් මිලේඡයන් බවට එම සැමරීම්වලදී පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එය ඉර හඳ මෙන් විශ්වාසය. සන්නස්ගලලා සංසේචනය කරන්නේ අන්න එදාට ප්‍රභාකරන්ගේ දරුවන් බිහිකරනු වස් අද වැදගත්වන ශුකාණු වේ. ඒවා සන්නස්ගලලාගේ ශුකාණු නොවන බව මෙන්ම ඒවා සන්නස්ගලලා විසින් කුලියට ගත් ශුකාණු පමණක් බවත් සිහිතබා ගත යුතුය.

lankawords@gmail.com
   

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by