Wednesday, July 15, 2015

මෛත්‍රීපාල සිරිසේන ගැලවීමේ ගීතය

11:12 PM



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී සිදුකල විශේෂ ප්‍රකාශය තුලින් ඇතැම් ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ඔහු කෙරෙහි කළකිරීමක් ඇති කරගැනීමත්, ඔහු තවදුරටත් පක්ෂය වෙනුවෙන් පෙනී නොසිටින පක්ෂ නායකයෙක් යන තීරණයටත් පැමිණ ඇත. එසේම එම ප්‍රකාශය නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධාන විරෝධී පක්ෂ චූන් වී ඇති ආකාරය පැහැදිලිය. 

   ඊයේ මෛත්‍රී සිදුකල කථාව සමාන වන්නේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වීමෙන් පසු සිදුකරන ලද විශේෂ ප්‍රකාශයටය. එදා ඇතුලත්මුදලි ඝාතනයේ චෝදනාවට ප්‍රේමදාස දෙසට ඇඟිල්ල දිගුකරන විට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කලේ “මාගේ දෙසට ඇඟිල්ල දිගුකරන විට තමන් දෙසට ඇඟිල් හතරක්ම දිගුව ඇති බව අමතක නොකරන්න“ කියාය. එදා ප්‍රේමදාසගේ කතාව දැඩි ලෙස විවාදයට තුඩුදුන් කතාවක් මෙන්ම හෙතෙම කිසිකලෙක නොකල ආකාරයේ වෙනස්ම මාදිලියක හංස ගීතයක් ලෙස එය නම්වුණි. ඊයේ මෛත්‍රීද සිදුකලේ එවැනිම  හංස ගීත වැයීමකි. එය හංස ගීතයකටත් වඩා ගැලවීමේ ගීතයක් ලෙස නම්කල හැක.

   මෛත්‍රීට එරෙහිව එල්ලවූ චෝදනාව හෙතෙම ජනවාරි 8 ජනවරම පාවාදුන්නා යන්නයි. බහුතරයක් ජනතාව ප්‍රතික්ෂේප කල මහින්ද රාජපක්ෂ චරිතයට නැවත බලයට පැමිණීමට යම්හෝ ඉඩකඩක් සකසා දීම තුලින් මෛත්‍රී පාලනයක් පිළිබඳ විශ්වාසය තැබූවන් මෛත්‍රී දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරන ලදි. මෛත්‍රී එයට පිළිතුරු සැපයීම උදෙසා සිදුකල ඒ ප්‍රකාශය ජනපතිවරයෙක් ලෙසින් සිදුකල හැකි ප්‍රකාශයක්ද යන්න ගැටළුවකි. එය හිටපු ජනපතිගේ “ෆයිල් කතාවට“ දෙවනි නැත.

   ඔහුගේ කතාවේ හරය වූයේ ඔහු නිර්පාක්ෂික බව සහ ඔහු ජනවරම පාවා නොදුන් බවය. එසේ නිර්පාක්ෂික බව පුන පුනා කී මෛත්‍රී අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක තනතුරු පිරිනැමුවේ කෙසේද කියා මත ඝට්ටනයක් පැන නගී. එසේම ඔහු සුළුතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීමට මුර දේවතා කාර්යභාරය සිදුකල ආකාරය කතාවේ සියයට හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක සඳහන් කර ඇත. ජනවාරි 8 ජනවරම මෛත්‍රී වෙත ලබාදුන්නේ එසේ සුළුතර ආණ්ඩුවක් රැකීමට ද යන්න තවත් පැනයකි. 

   එසේම ජනාධිපතිවරයෙක් ලෙස විශේෂ ප්‍රකාශක් තුලින් හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම, පරාජය අපේක්ෂා කිරීම කොතරම් දුරට සදාචාරසම්පන්නද සහ එය තනතුරට ගැලපේද යන්න සිතා බැලිය යුතුය. එසේම ඔහු විසින් සිදුකල බරපතලම ප්‍රකාශය අගමැතිවරයා බේරා ගැනීම උදෙසා පාර්ලිමේන්තුව විසුරවා හැරීම යන කාරණාය. මෛත්‍රී පාලනයක් තුල ජනතාව ජනපතිවරයෙකුගෙන් කිසිසේත්ම මේ ආකාරයේ ක්‍රියාකාරකම් අපේක්ෂා කලාදැයි සැක සහිතය.

   මෛත්‍රීට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූයේ තමන් නිර්දෝශීබව කියා පෑමයි. ලතින් කියමනකට අනුව If someone proves, too much..proves nothing යන්න ප්‍රායෝගික තත්වයකි. එනම් කවුරුන් හෝ යම් දෙයක් ඕනෑවට වඩා ඔප්පු කිරීමට උත්සහ කරයි නම් ඔහු කිසිවක් ඔප්පු කිරීමට අසමත් වේ යන්නයි. මෛත්‍රී මේ මොහොතේ ප්‍රකාශ කරනවාට වඩා එය ක්‍රියාවෙන් ඔප්පු කරානම් ඔහු ජනපති පදවියේ තැබූවන් අතරින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිලාෂයන් ඉටු නොවුනත් මැදිහත් මතධාරීන්ගේ ගෞරවය ලැබෙනු නිසැකය. එසේම නමට හෝ තමන් නායකත්වය දරණ, තමන් නියෝජනය කරන, තමන් පෝෂණය වූ පක්ෂයේ පරාජය ප්‍රාර්ථනා කරන එකම පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන විය හැකිය. ඔහු දේශපාලනයට හෝ ජනාධිපති පදවියට ආකාස්මිකව පහල වූවෙක් නොවේ. ඔහු කලක් තිස්සේ හඬු ගඳගහන දේශපාලනය තුල ජීවත්වී එකපාරට රහත් වූවෙක් ලෙස එය පිළිකුල්කර දැමීම ප්‍රායෝගික නොවේ. මෛත්‍රීගේ අධි රංගනය තුලින් ඔහු වගා කරන දේ ඔහුට නෙලාගන්න සිදුවනු ඇත

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by