Friday, July 10, 2015

එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රී එපාම වේ.

6:09 PM


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන්නට වැඩිම දායකත්වයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් බව විවාදයක් නැත. ඔහුගේ මුල්ම දේශපාලන පොරොන්දුව බවට පත්වුනෙත් පත්වන රජයේ අගමැතිවරයා බවට පත්කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ඒ පොරොන්දුවූ පරිදිම මෛත්‍රී එය ඉටු කරන ලදි, එසේම නව රජයේ අමාත්‍යධූරද බෙදී ගියේ එ.ජා.පයට වුවමනා ආකාරයට මිස මෛත්‍රීට වුවමනා ආකාරයට නොවන බව සත්‍යය. ගතවූ මාස හයක කාලය පුරාවටම මෛත්‍රීගේ වුවමනාවට වූයේ කාරණා කීපයක් පමණි. ඒ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ඖෂධ පනත වැනි කාරණා ඒ අතරවේ. අනිකුත් සියළුම දේ සිදුවුනේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එ.ජා.ප රජයේ වුවමනාවටය.

   එ.ජා.ප යට මුලින්ම අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ කෙසේ හෝ ගෙදර යවා ගැනීමටයි. මහින්ද බලයේ සිටියදී කවර ලෙසකින්වත් තම පක්ෂයට බලයට පත්විය නොහැකි බව ඔවුන් දැන සිටියහ. එහිදී ඔවුන් භාවිතා කලේ “සතුරාගේ සතුරා අපේ මිතුරාය“ යන ප්‍රකට සංකල්පයයි. මෛත්‍රී වෙනුවෙන් එ.ජා.ප ය නැහුනේ තම පක්ෂයේ අනාගත සුභ සිද්ධියට මිස මෛත්‍රී කෙරෙහි හෝ රට කෙරෙහි ඇති ආදරයකට නොවන බව දැනගත යුතුය. මෛත්‍රී එ.ජා.ය ට අවශ්‍ය බොහෝ දෙයට ඉඩදී බලා සිටියහ. ඒ අතර රජයේ ශක්තිය වර්ධනයට ශ්‍රී.ල.නි.ප යද කෙටි කලකට දෙකට කැඩීමද සිදුකරන ලදි.

  එ.ජා.ප යේ අරමුණ තිබුණේ දින 100 ඇතුලත ඊළඟට රජයක් පිහිටුවීමට අවශ්‍ය පිටුබලය ලබාගැනීමයි. ජනප්‍රියත්වය, බලය, ශාඛා සමිති ජාලය, සංවිධායකවරුන් වැනි සාධක සවිබලගැන්වීම තුලින් දීර්ඝකාලීන ජයග්‍රහණයකට සහ ස්ථාවරත්වයකට පත්වීම ඔවුන්ගේ අභිලාශය විය. ඒ සඳහාද මෛත්‍රී නිසි ලෙස ඉඩකඩ ලබාදී තිබිණි. රාජපක්ෂ පාලනයේ රාජ්‍ය සම්පත් අයථා භාවිතය ගැන මොරදුන් එ.ජා.ප නායකයන්ම තමන්ගේ ගෝලබාල පලාත් පාලන මන්ත්‍රීවරුන්ට පවා රජයේ ආයතනවල හෝ අමාත්‍යංශවල වාහන ලබාදෙමින් කඩිනමින් පක්ෂය බලගැන්වීම කරන්නට උත්සහ කලහ. ඒ සඳහා අදාල කාල සීමාව කිසිසේත්ම ප්‍රමාණවත් බව පෙනෙන්ට නොතිබිණි. ඒ හා සමගාමීව ඔවුන් බලාපොරොත්තුවූයේ දීර්ඝකාලනීව මෛත්‍රී එ.ජා.පය හා ඇඳබැඳ තබාගැනීමට හෝ ඔහුව නිර්පාක්ෂික කිරීමටය. නමුත් ඔහු සිය දශක ගණනක ක්‍රියාකාරී දේශපාලන තෝතැන්න වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් පුටුව බාරගත් මොහොතේම එ.ජා.ප ය මුලින්ම ඔහු සමග හිත් නරක් කරගත්හ.

   ඉන් අනතුරුව එ.ජා.ප කථිකයන් තැන තැන මෛත්‍රීට ආඩපාලි කීම ආරම්භකර අතර ඒ තුලින් තව තව මෛත්‍රී ශ්‍රී.ල.නි.ප යට ලංවනු මිස වෙනසක් සිදුනොවීය. එ.ජා.ප යට තිබූ ලොකුම අවාසිය සිය ප්‍රබල දේශපාලන චරිත තමන් සතුව නොමැතිවීමයි. ඇතැමුන් පක්ෂය මාරු කර සන්ධානයේය, අනෙක අය පාර්ලිමේන්තුවේ හෝ දේශපාලනය තුල නැත. එබැවින් රජය දුවන්නට වූයේ වැඩකාරයන් සමගින් නොව, ඒ නිසාවෙන් මාස හයේ ආණ්ඩුවේ දුර්වලතා කෙමෙන් කෙමෙන් ජනතාව තුලට එන්නත් ඒ නිසාවෙන් රජය ගැන සහ යහපාලනය ගැන තිබූ බලාපොරොත්තු කෙමෙන් මැකී යන්නට විය. මහ බැංකු අධිපති හා බැඳුනු බැඳුම්කර සිදුවීම එහි එක්තරා කූටප්‍රාප්තියකි. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු පහ හයක් ගිය පසු සිදුකල දේවල් එ.ජා.ප ය යහපාලනය කරපින්නාගෙන පැමිණි රජය යටතේ මාස හයක් ඇතුලත සිදුවීම තුලින් ජන මතය ඔවුන් කෙරෙන් ඈත් වන්නට විය. 

   වේගයෙන් සේදී යන ජන මතය අස්සේ මහින්ද රාජපක්ෂ නැවත මැතිවරණ සටනට පිවිසීම තමන්ට සුභදායී නොවන බව දත් එ.ජා.ප ය මුලින්ම මෛත්‍රීට බලකලේ ඔහුට සහ ඔහුගේ සගයන්ට සන්ධානයෙන් නාම යෝජනා නොදෙන ලෙසටය. මෛත්‍රීත් මුලදී ඒ ස්ථාවරයේ සිටියත් තමන් නායකත්වය දරණ පක්ෂයේ බිම් මට්ටමේ සිට ඉහලට ගලා එන පීඩනය සහ ජනතා මතයට හිස නොනමා සිටීමට තරම් මෛත්‍රී පොරක් නොවීය. පරාජයන් ගණනාවක් හමුවේ බිම් මට්ටමේ පාක්ෂිකයා පවා යන්නට කියද්දි, එය නොඇසුනා සේ රනිල්ට කටයුතු කල හැකිවුවද මෛත්‍රීට එසේ කල නොහැකිවිය. මෛත්‍රී එහිදී පුද්ගලික ප්‍රතිපදාවට වඩා තමන් දැන් සිටින තැන නියෝජනය කරන ජනතාවගේ මතයට නම්‍යශීලි විය. එය එ.ජා.ප යට රුස්සන දෙයක් නොවීය. දැන් ප්‍රසිද්ධියේ මෛත්‍රීට පහර දෙන්නේ අන්න ඒ නිසාය.

   එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය බලකාය මෙහෙයවන වෙබ් අඩවි අද දවස පුරා එක් පසකින් මෛත්‍රීට ගුණමකුවා කියා නොකියා පහරදෙති, අනිත් පැත්තෙන් මහින්ද රාජපක්ෂට පහර දෙති..වේගයෙන් පහල බසින සමාජ ජාල තුල එක්සත් ජාතික පක්ෂයට හිතවත් ජනමතය රැකගැනීමටද සිදුකරන්නේ ඉහත කාරණයමය. අද පූර්ණකාලීනව පිරිස් යොදවා මෛත්‍රීට සහ මහින්දට ද්වේශ සහගතව පහරදීම්, අසත්‍ය චෝදනා, අසත්‍ය පුවත් මවමින් සුපුරුදු මාධ්‍ය මාෆියාවට එ.ජා.පය පිවිස ඇත. එ.ජා.ප රජයක් බිහිවුවහොත් ඒ මාධ්‍ය මාෆියාවට වසර ගණනකට නතුවන්නට අපට සිදුවනු ඇත. එ.ජා.ප යට වීරයෙක් වූ මෛත්‍රී එක රැයින් ද්‍රෝහියෙක් වන්නේ පරාජය කල මහින්ද රාජපක්ෂ නිසානම් එ.ජා.ප යට කල යුතුව ඇත්තේ වරක් පැරදූ මහින්ද තවත් වරක් පරාජය කිරීම මිස මෛත්‍රීගේ පළු ඇරීම නොව. මෛත්‍රී අද ඉන්නා වාතාවරණයේ රනිල් වික්‍රමසිංහ සිටියත්, අනුර කුමාර දිසානායක සිටියත්, පාඨලී චම්පික රණවක සිටියත් කරන්නේ ඒ දෙයම බව බුද්ධියෙන් සිතා බැලිය යුතුය.

@Lanka Words

0 Comments:

Please leave your comment

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by