Sunday, August 2, 2015

මහින්ද රාජපක්ෂ ස්වභාවයෙන්ම නරක පුද්ගලයෙක්, ඒත් යුග පුරුෂයෙක් - නීතීඥ යලිත් විජේසුරේන්ද්‍ර

10:46 PM

“පුරවැසි මතය“ සැබෑලෙසම පුරවැසියන්ගේ මතය ලොවටම හඬගා කියන්නට අවස්ථාව සලසා දෙන සංවාදශීලී කතිකාවතක්. එහි මුල්ම දිගහැරුමේ මත දක්වන්නේ නීතීඥ යලිත් විජේසුරේන්ද්‍රයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධියලත් හෙතෙම අද වනවිට නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලනික,සමාජයීය,සංස්කෘතිය යනාදී ක්ෂේත්‍ර ගණනාවක හසල දැනුමක් සහ අත්දැකීම් ඇත්තෙක් ලෙස හැඳින්විය හැකියි. එසේම Buddhist Answers for Critical Questions නැමති කෘතියක්ද ලියා එය ජ්‍යාතයන්තරව ප්‍රකාශයට පත්කර ඇත.ප්‍රකට සමාජ ක්‍රියාකරී චරිතයක් ලෙස සිවිල් සංවිධාන ගණනාවක් සමගම කටයුතු කල ඇති ඔහු සමග අද පුරවැසි මතය කතිකාවත දිගහැරේ.

පවතින දේශපාලන වාතාවරණ බහුතරයක් ජනතාවට අලුත් දෙයක්, ඒ වගේම ගැටළුවක්. ඒ වගේ තත්වයකදි ජනතාව ගත යුතු පියවර කුමක්ද ඔබ හිතන විදියට?

ජනතාව තම වාසිය,කුලය,හිතවත්කම ආදී පටු අදහස් පසෙක තබා තම දරුවන්ගේ හෙට දවස සංවර්ධිත එමෙන්ම ධාර්මික රටක් බිහි කර ගැනීම වැදගත් යයි මුලින් සිතිය යුතුයි. එසේ සිතා ඉන් පසු එම සිතුවිල්ල යථාර්ථයක් කල හැකි දේශපාලන නායකත්වය ඇත්තේ කාට දැයි කල්පනා කල යුතුයි. එසේ දේශපාලන නායකත්වය දිය හැකි යයි හදවතට එකඟව ඔවුන්ට හිතෙන දේශපාලන පක්ෂයට හෝ අපේක්ෂකයෙකුට ඔවුන් සහයෝගය දිය යුතු අතර ඡන්දය දිය යුතුයි.

සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය නිසා අපේ රටට යහපතක් වී ඇත්ද? එසේ නැත්නම් විකල්ප ක්‍රමයක් තිබේද?

පක්ෂ ක්‍රමයක් වනාහී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියක, මහජන මතය සංවිධානය කොට ක්‍රියාත්මක වීම උදෙසා භාවිතාවන ක්‍රමවේදයකි. සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය නිසා රටට යහපත් දේ මෙන්ම අයහපත් දේත් සිදුවී ඇත. එනමුත් ඒකාධිපති පාලනයකට වඩා එය සාපේක්ෂව හොඳය (බොහෝවිට) විකල්ප ක්‍රමයක් ඇත, එනම් රටට ආදරය කරන හොඳ ඒකාධිපතියෙකුය. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ,මලයාසියාවේ මහාතීර් මොහොමඩ් උදාහරණ ලෙස ගත හැක. එබඳු උතුම් නායකයෙකු ලබන්නට අප පින් කර නැති හැඩය.
ධනපති ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව මාක්ස්වාදී සමාජවාදය විකල්පයක් යයි සමහරුන් සිතනා මුත් මාක්ස් පැවසූ පරිදි අප වැනි කුඩා පරිදියේ රටක තනිවූ කොමිනියුස්ට් ක්‍රමයක් ධනපති ලෝක ක්‍රමයකට පවත්වා ගැනීම අසීරුයි. ජාතික හරිත සමාජවාදී ශක්තිමත් පක්ෂයක් ගොඩනැගිය හැකි නම් ක හොඳ විකල්පයකි.

ඔබ කියන ආකාරයේ නායකයන් මේ දේශපාලන ක්‍රමය ඇතුලේ වහලුන් බවට පත්වෙලා කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒකට දේශපාලනයේ නොදැනුවත්භාවය සහ බලලෝභය කියන කාරණා හේතුවෙලා තිබෙනවා නේද?

දේශපාලන ක්‍රමයේ වහලුන් බවට පත්ව ඇත්තේ නායකයන්ට වඩා ජනතාවයි. නායකයන් වනාහී ඔවුන් විසින්ම ඡන්දය දී තේරී පත්වූවන්ය. නයි රෙද්ද අස්සේ දමාගෙන කනවෝ..කනවෝ යයි කෑගැසීමෙන් පලක් නැත. නරක මිනිසුන්ට බලය ලබාදී ඔවුන් හානි සිදුකරන විට ඊට බැනීමෙන් පලක් නැත. දේශපාලකයන් කොහොමත් බලලෝභීන්, නැත්නම් ඔවුන් දේශපාලනය කරන්නෙත් නෑ. ජනතාවට ගැලපෙන දේශපාලනය කරන්න ඔවුන් දැනුවත්. විසඳුම වන්නේ ජනතාව දේශපාලනිකව දැනුවත්වී සාපේක්ෂව හොඳ,උගත් දේශපාලනඥයින්ට ඡන්දය දීමයි. එමෙන්ම සාධාරණ සමාජයක්,පිවිතුරු හෙටක් වැනි සිවිල් සංවිධාන හරහා ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය,ස්වාධීන කොමිෂන් සභා ආදී හොඳ දේශපාලන නෛතික රාමු හා ක්‍රමවේද ගොඩනැගීමෙන්, බලය ලබාගන්නන්ට පිස්සු කෙලීමට ඇති ඉඩ ඇහිරිය හැක. ජනතාව එබඳු සිවිල් සංවිධාන වලට තම උපරිම සහයෝගය ලබාදිය යුතුය.

මහින්ද රාජපක්ෂ චරිතය ඔබ දකින්නේ කෙසේද?

සංකීරණයි, ස්වාභාවයෙන්ම නරක මිනිසෙක්. අධම මිනිසුන්ට රැකවරණය සැලැස්වූවෙකි. එනමුත් හොඳ ගතිත් තිබේ. මහජන සම්බන්ධතා හා සංවිධානාත්මක ක්‍රියාකාරකම්වලට අති දක්ෂයෙක්. ඒ වගේම ඉතා වාසනාවන්තයෙක්. රට එක්සේසත්කල යුග පුරුෂයෙක් ලෙස ඉතිහාසගතවනු ඇත. ඊට දායකත්වය දැක්වූ බොහෝ දෙනාගේ නම් කාලයේ වැලි තලාවට යටවනු ඇත. යුද්ධය දිනූ පසු ඔහු සහ ඔහුගේ ගෝලබාලයන් සංවර්ධනය මුවාවෙන් මහා පරිමාණ ණය ගෙන අසාර්ථක ව්‍යාපෘති සිදුකරමින් රටම ගසා කෑවා. තව වතාවක් බලය ලැබුණානම් ඉතිහාස ගතවන්නේ රට බංකොලොත්කල පාපතරයෙකු ලෙසයි. එනමුත් යුද්ධය දිනීමට මහින්ද රාජපක්ෂ දුන් දේශපාලන නායකත්වය සදා ඇගයිය යුතුයි.

යහපාලනය පිළිබඳ ජනතාවගේ කළකිරීමක් තිබෙනවා කියලා ඔබ හිතනවද?

ඔව්, මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි සිදුවීම් නිසා ජනතාව අතරේ යම් කලකිරීමක් ඇතිවූ බව ඇත්ත.

රනිල් කියන්නෙත් ලිහා බැලූ මල්ලක්, ඒක ආයෙත් ඔබලා බලන්න ජනතාව මැදිහත් වේවිද?

හැම කිල්ලොටයෙම හුණු තියනවා. ඒ වුනත් රාජපක්ෂ පාලනය රට ගසා කෑමට හා නීතියේ ආධිපත්‍ය බල්ලට දැමීමට වඩා යහපාලනය දහස් ගුණයක් හොඳයි. රනිල් 2002 බලයට පැමිණි යුද්ධය සම්බන්ධව ගත් පිවිසුම ඒ දිනවල අපි දැඩිව විවේචනය කරමින් එයට විරුද්ධව අරගල කලා. එනමුත් අතීතයේ කරපින්නාගෙන රටේ අනාගතය වළදැමිය නොහැකියි. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හොර රැල සමග ගොඩනැගිය හැකි අනාගතයක් නැත. ඒ අනාගතය සාර්ථක කල හැක්කේ යහපාලනයට පමණි. දැන් කොටින් නැති නිසා රට බෙදන කතාවලට බියවිය යුතු නෑ. චම්පික රණවක, අතුරලියේ රතන හිමි වැනි යෝධ දේශපාලන පෞර්ශයන් යහපාලන ආණ්ඩුවේ සිටින තුරු රටේ ඒකීයභාවය හා ස්වාධීනත්වය ගැන නම් බිය වන්නට දෙයක්නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිතුමන් හරි පාරේ ගොස් යහපාලනය යථාර්ථයක් කල යුතුයි.

අපේ රටේ නව තරුණ පරපුර දේශපාලන භාවිතාව ගැන ඔබේ අදහස මොකක්ද?

රටේ නව තරුණ පරපුරේ තරුණ තරුණියන් සුපර් ස්ටාර් වැනි විවිධ තරු රැලි පසුපස යනවා හෝ තම ස්වාර්ථකාමී වැඩ කටයුතු වල නිමග්නව සිටිනවා මිසක පරාර්ථකාමී දේශපාලනයක් උදෙසා කැපවීමෙන් පෙරට එනවා බොහොම අඩුයි. එමෙන්ම අතීතයේ මෙන් නොව ෆේස්බුක් ආදියට ඇබ්බැහි වී සිටින තරුණ පෙළ හොඳ පොත්පත් කියවනවා අඩුයි. ඔවුන්ගේ චින්තනය දියුණු නෑ. එනමුත් අපි අධෛර්යමත් විය යුතු නෑ. සෑමකල්හිම තරුණ පෙළ නම් තරු පොකුරු අතරේ සරා සඳවල් උදාවෙයි. “එක පුන් සඳෙන් දුරුවෙයි ලොව ඝන අඳුරු - නෙක තරු රැසින් එලෙසින් නොම වේය දුරු“
එබඳු සරා සඳවල් අනාගතයේදීද උදාවනු ඇත.

බොදු බල සේනා“ වැනි සංවිධානවල අනාගතය කෙබඳු වේවිද?

බොදු බල සේනා ගොඩ නැගුනේ මුස්ලිම් වහාබි අන්තවාදයට ප්‍රතිචාරයක් ලෙසයි. මුස්ලිම් අන්තවාදයට යම් මට්ටමක අන්තවාදයකින් පිළිතුරු දීම සාධාරණ නමුත් බොදු බලසේනා තම සීමාව ඉක්මවීය. ඔවුන් කල කටයුතු වලින් භික්ෂුවකගේ හා බෞද්ධයාගේ ප්‍රතිරූපයට ජ්‍යාත්යන්තරව පවා හානිවුණා.
බොදු බලසේනා දැන් බොදු ජන පෙරමුණ නම් පක්ෂයක් ගොඩනංවා ඡන්ද සටනට පැමිණ තිබෙනවා. ඉන් ඔවුන් අන්ත පරාජයක් ලබනු ඇති අතර, බොදු බලසේනා ගොඩනැංවීමට උපකාරකල රාජපක්ෂ පෙරමුණද මේ ඡන්දයේදී පරාජයට පත්වනු ඇත. ඉන් පසුව ඔවුන්ට යලි නැගිටීම ලෙහෙසි පහසු වන්නේ නෑ.

අගෝස්තු 18 න් පස්සේ මොනවා වේවිද?

අගෝස්තු 18න් පසු යහපාලනයක් උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගනිමින් ආණ්ඩුවක් පිහිටවණු ඇත. එම පාලනය රාජපක්ෂ රෙජීමයට සාපේක්ෂව දූෂණය අඩු, නීතියේ ආධිපත්‍ය සුරකින,යහපාලනයක් වනු ඇති. ජනතා විමුක්ති පෙරමුණටද සැලකිය යුතු බලයක් ලැබේවි. එමෙන්ම ඔවුන් සාධනීය විවේචනාත්මක භූමිකාවක් රඟදක්වනු ඇති.

සමාජය තුල ජාතිකවාදිත්වයට ඇති නැඹුරුව තුලින් ජාතීන් අතර සහයෝගීතාව බිඳවැටෙනවා කියලා ඔබ හිතනවද?

ජනවර්ග අතරේ සාමකාමී සහජීවනය රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය දෙයක්. එනමුත් අද වනවිට ලාංකේය මුස්ලිම් සමාජය වහාබි අන්තවාදය විසින් ගිලගනිමින් පවතින අතරේ, වහාබි මුස්ලිම් අන්තවාදය ජනගහනය වැඩි කරගනිමින්, ඉඩම් මිලට ගනිමින්, පුරාවිද්‍යා ස්ථාන විනාශ කරමින්, අභය භූමි ගිල ගනිමින්, නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් ආක්‍රමණයක් දියත් කොට තිබෙනවා. එදා දෙමළ ත්‍රස්තවාදයට හා ක්‍රිස්තියානිකරණයට එරෙහිව, සිංහල සමාජයේ ජාතිකවාදය නැගී ආ අතර එමගින් ඒ අභියෝගයෙන් සෑහෙන්න දුරකට ජය ගත්තා. මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහිවද යම් මට්ටමක සිංහල ජාතිකවාදයකින් පිළිතුරු දිය යුතුයි. එය විෂබීජ හා ඇඟේ හැදෙන පිළිකා සෛල වලට එරෙහිව ශරීර ප්‍රතිශක්තිය හා ස්වාභාවික ප්‍රතිප්‍රහාරක සෛල (Natural Killer Cells) ක්‍රියාත්මක වනවාක් මෙන් දැක්විය හැකියි.

එනමුත් මුස්ලිම් වහාබි අන්තවාදී ව්‍යාප්තවාදය ජාතික වාදයෙන් පමණක් ජයගත නොහැකියි. ඒ උදෙසා බෞද්ධයන්,කිතුනුවන් හා සාම්ප්‍රදායික මුස්ලිම්වරු එකමුතුව ක්‍රියාත්මක විය යුතුයි. වහාබි අන්තවාදය මැඩලීමේ සටන බහු පෙරමුණු වලින් දියත්කල යුතුයි. අණ්ඩුවද Peace TV, මැඩ්රාසා පාසල් වැනි වහාබි අන්තවාදය වපුරන ස්ථාන තහනම් කරමින් ඒ සටනට දායකවිය යුතුයි.
එමෙන්ම මුස්ලිම් නීතියෙන් අවසර ලැබී ඇති බහු විවාහය හා ළමා විවාහයන් තහනම් කල යුතුයි. චීනයේ මෙන් පවුලකට සෑදිය හැකි ළමයින් දෙදෙනෙකු යයි නීති පැනවිය යුතුයි. මේවා සිදු කරන තෙක් ජනතාව වහාබ් අන්තවාදයට විරුද්ධව උපරිමව ක්‍රියාත්මක විය යුතුයි. වහාම් අන්තවාදීන්ගේ ව්‍යාපාර වලින් භාණ්ඩ මිලට ගැනීම වර්ජනය කල යුතුයි. ඔවුන්ට ඉඩම් විකිණීම නොකල යුතුයි. ඔවුන් හා අවාහ විවාහ ආදී කිසිඳු සම්බන්ධයක් නොපැවැත්විය යුතුයි. අන්තවාදීන්ට එරෙහි සාම්ප්‍රදායික මුස්ලම්වරුන්, මැලේ මුස්ලම් සුෆී හා අහමදියා ආදී ඇත්තන් හා මිතුරුව අන්තවාදීන්ට එරෙහිව ඔවුන් බලගැන්විය යුතුයි.

අන්තවාදීන්ගේ අන් ආගම් නිර්දය ලෙස විවේචනය කරමින් ඉස්ලාම් ආගම සම්බන්ධ අන්තවාදී අර්ථනිරූපන ඉදිරිපත් කරන ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන සාමකාමී,කාරුණික,මධ්‍යස්ථ අන් ආගමිකයන් හා මිත්‍රශීලී අර්ථ නිරූපණ සිදුකරන සුෆි නිකායික ආදී ඉස්ලාමීය විද්වතුන් බලගැන්විය යුතුය. බොදු බලසේනා ආදී බෞද්ධ වේවා, යොහෝවාගේ සාක්ෂිකරුවන්/පෙන්තකොස්තො වැනි කිතුනු වේවා, LTTE ආදී දෙමළ හින්දු වේවා, වහාබි මුස්ලිම් වේවා, නිර්ආගමික සදාචාර විරෝධී වේවා. සියළුම ආකාරයේ අන්තවාදයන්ට එරෙහිව මධ්‍යස්ථ ජනතාව අත්වැල් බැඳගත යුතුව ඇත.

lankawords@gmail.com

1 Comments:

  1. Dollar speaks! Euro speaks! Ravi, Ranil, Mahendran, John etc. etc. will bring real yahapalanaya! This guy is also a Dollar Kakka like his buddies!

    ReplyDelete

 

© 2015 Lanka Words.com. All rights resevered. Designed by